Skip to content
Home » TRADITIONAL GOLDSMITH IN CEYLON

TRADITIONAL GOLDSMITH IN CEYLON

රත්තරන් සෑදීම ගැන පාරම්පරික ක‍්‍රම

#goldsmith #ceylongold #goldceylon

රත්තරන් සෑදීම ගැන පාරම්පරික ක‍්‍රම අපට හමුවන්නේ රන් කරුවන්ගේ භාවිතයෙනි.
ලංකාවේ දැනට හමුවන රත්තරන් ගැන පර්යේෂණයක් කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා අංශයේ එස.ඩබ්.නවරත්න සහ ජී.එන්.විජේරත්න යන දෙදෙනා පළ කළ (Gold in Stream Sediments Of Sri lanka )
නම් ලිපියේ සඳහන් පරිදි ලබාගත් සාම්පල විශ්ලේෂණයේදී පැහැදිලි වී ඇත්තේ
රන් 78.24 %
රිදී 17.04 %
තඹ 03.17 %
යකඩ 0.97 % සහ
මැන්ගනීස් 0.007 % වශයෙනි.

එම මිශ්‍ර ලෝහය මකවා අවශ්‍ය පමණට මාත්තුව දමා රන් ආභරණ හෝ රිදී ආභරණ සෑදීමට රන් කරුවන් අතර තිබූ මේ පාරම්පරික දැනුම ඉවහල් විය.

වර්තමානයේ රත්තරන් වල පිරිසිදු තාවය මනිනු ලබන්නේ කැරට් වලිනි. කැරට් 24 (100 %) කැරට් 22(91.7 % ) කැරට් 18 (75% ) කැරට්14 (58.3% ) කැරට් 12 (50%) සහ කැරට් 10 (41.7% ) යනුවෙන් පිරිසිදුතාවය වර්ග කරයි.
නමුත් පාරම්පරික වශයෙන් එය වර්ග කරනු ලබන්නේ සය මාත්තු රත්තරන් සත් මාත්තු රත්තරන් අට මාත්තු රත්තරන් නව මාත්තු රත්තරන් සහ දස මාත්තු රත්තරන් වශයෙනි.ඒ සඳහා තිබූ පැරණි ජන කවියක් මෙසේය.

සුද්ද තඹෙන් සය කළඳක් අර ගන්න
සුද්ද රනින් එක් කළඳක් අරගන්න
තිත්ත අඟුණ කොල මල් ඉස්මේ ලන්න
සත්ත මිටක් කළ රන් මය අට වැන්න ( අට මාත්තු රත‍්‍රං) මෙම කවියේ එන පරිදි රන්කරුවන් විවිධ ඖෂධීය ශාක වර්ගයන්ද මාත්තුව ගැනීමට භාවිතා කර ඇත.වත්මන් රන්කරුවන් මෙම දැනුම බහුලව භාවිතා නොකරන නමුදු ඔවුන් අතර මුඛ පරම්පරාගතව තිබූ වට්ටෝරු කීපයක් මෙසේ දක්වමි.

රත්තරන් පෑස්සීම – රන් පොඩි
තඹ සහ රිදී දෙකට එක අනුපාතයට රුගෙන අවශ්‍ය තන්හි පෑස්සුමට යොදා ගැනේ පෑස්සීමේදී පුස්කර ( බෝරික් අම්ලය ) මදක් ආලේප කරනු ලැබේ.

පලිප්පු දැමීම –
පලිප්පු දැමීම යනු ආභරණයක අමු රත්තරන් පෙනුම මකා දිස්නයක් ලබා දීමය . එම කටයුත්තේ දී පල්මාණික්කම් එක බරයි . මේස ලූණු එක බරයි . ගෙන එම දෙබරට වෙඩි ලූණු එක් බරක් දමා පල්පයක් සාදා අභරණය සෑදීමෙන් පසු එය මතුපිට තවරා දහයියා අගුරේ පිලිස්සීම කරති.

රත්තරන් සුද්ද කිරීමට –
අක්කපාන කොළ යුෂ කෝවේ දමා රත්තරන් මකවා ගැනීමෙන් සුද්ද රත්තරන් ලැබේ . අමු රත්තරන් කැරට් 22 කිරීමට රිදී සහ තඹ මංචාඩි 02 බැගින් එකතු කල යුතුය. කැරට් 20 ලබා ගැනීමට මංචාඩි 04 ක් එක් කල යුතුය . ඒ අද පිළිවෙලයි.

පාරම්පරික රන්කරුවන් සිය කටයුතු වලදී සාම්ප්‍රදායිකව යොදා ගත් උපකරණ කීපයකි.ඉන් පළමුව ගැනෙන්නේ දහයියා සහ පොල් කටු අඟුරු වලින් ගිනිකරන උදුනයි.කෝව මිනිරන් මැටි මිශ්‍රණයකින් සාදා ග. වැඩ අරඹන සෑම අවස්ථාවකදීම නැවත උදුන සුද්ද කොට දහයියා සහ අඟුරු පිරවීම ද කරති.ගල් බදින කටු දුනු කියත සිදුරු පත කිණිහරය කාන්දම කම්බි තලනය පොඩි වෙට්ටුව චීනචට්ටි ගල බටගහ තහඩු තලනය සහ මුදු කැරැල්ල මේ උපකරණ අතර වේ.

දහයියා උදුන සාදා ගන්නේ එහි යටට පස් අළුදමා ඊට උඩින් දහයියා පොල් කටු අගුරු එලීමෙනි.රන් තහඩු තලා ගැනීමට තලන යන්ත‍්‍රයක් භාවිතා කරති . මෙලෙස තලා ගත් තහඩු මගින් සිහින් කම්බි සහ රන් නූල් ලබා ගැනීමට සිදුරු පත නම් උපකරණය යොදා ගනී .

මතුගම සෙනවිරුවන්ගේ දේශනය ඇසුරෙන් උපුටාගැනීමකි.

#traditionalgoldmaker #ceylon #goldceylon

තව කෙනෙක් දැනගැනීම සඳහා LIKE FOLLOW , SHARE කරන්න අමතක නොකරන්න.

Published by GOLDCeylon ▶️ TRUSTED GOLD NEWS PLATFORM

https://www.facebook.com/GOLDCeylonLK/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *