Skip to content
Home » රන් ණය / රන් උකස් කර්මාන්තයේ වර්තමානය

රන් ණය / රන් උකස් කර්මාන්තයේ වර්තමානය

#goldceylon #goldloan #goldpawning

රන් ණය සේවාව / රන් උකස් සේවා
 උකස් රන් වෙන්දේසි
 සින්න වෙන්නයන රන් බේරා ගැනීම

සමීක්ෂණ වාර්තා සඳහන් කර සිටින ආකාරයට මෙරට ජනගහනයෙන් මිලියන තුනකට අධික ජනතාවක් මේ වනවිට තමන් සන්තකයේ පැවති කුමන හෝ රන් භාණ්ඩයක් උකස් කොට අවසන්ය. එලෙස උකස් කරනු ලබන රන් භාණ්ඩ අතරින් බොහෝමයක් උකස් තබන ලද බංකුවට හෝ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයට සින්නවීම තුළ ගනුදෙනුකරුට සිදුවන්නේ අකැමැත්තෙන් වුවද හිත හදාගැනීම පමණය. කරවටක් ආර්ථික අර්බුදයක ගිලී ඇති රටක ජනතාවට ඒ හැර වෙනත් විකල්පයක් නැත. මෙරට උකස් ව්‍යාපාරය ආශ්‍රිතව සිදු කළ සොයා බැලීමකදී හෙළිදරව් වූවේ ඉතිහාසයේ අන් කවරදාටත් වඩා රටේ ජනතාව තම තමන් සතු කනකර උකස් තැබීම ප්‍රවණතාවයක් පවතින බවත් එලෙස උකස් තබනු ලබන රන් භාණ්ඩ නැවත බේරා ගැනීමට ඔවුන් එතරම් උනන්දුවක් නොදක්වන බවත්ය. මෙහිදී බොහෝ දෙනෙක් තුළ හටගන්නා ගැටලුවක් බවට පත්වන්නේ එලෙස බැංකුවට හෝ උකස් මධ්‍යස්ථානයට සින්න වන රන් භාණ්ඩ ආදියට ඉන් අනතුරුව සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳවය.

එයට ලබාදිය හැකි සරල පිළිතුර නම් අදාළ මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ උකස් ව්‍යාපාර විසින් තම ආයතන වෙත සින්නවූ රන් භාණ්ඩ ප්‍රසිද්ධ වෙන්දේසියේ නැවත ජනතාව වෙත අලෙවි කිරීමය. පෞද්ගලික උකස් මධ්‍යස්ථානයක් නම් එම ආයතනයට සින්නවූ උකස් රන් භාණ්ඩ සම්බන්ධයෙන් ඔවුන්ගේ අභිමතයක් ක්‍රියාත්මක කළ හැක. මෙරට බැංකු ක්‍ෂේත්‍රය තුළ රන් භාණ්ඩ උකස් ගන්නා ආයතන නියමිත කාලය සම්පූර්ණ වූ පසු ඒ බව තම ගනුදෙනුකරු වෙත දන්වා යවන අතර උකස් කාලය තව තවත් දීර්ඝ කර ගැනීමට නම් අදාළ පොලී මුදල් තැන්පත් කර ලියකියවිලි අලුත් කරගත යුතුය. එහිදී පොලී මුදල් තැන්පත් කිරීමේ ආර්ථික ශක්තියක් සහිත ගනුදෙනුකරුවන් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග අනුව කටයුතු කරන අතර එසේ නොවන පිරිසට සිදුවන්නේ තමන් විසින් උකස් කරන ලද රන් භාණ්ඩය බැංකුවට සින්න වනු බලා හිත හදාගැනීම පමණය.

මෙතැන් සිට ලියවෙන්නේ එලෙස බැංකුවට සින්න වෙන ලොකු කුඩා රන් භාණ්ඩ ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි වන ආකාරය පිළිබඳව ය. මෙරට බැංකු පද්ධතිය ආශ්‍රිතව ක්‍රියාත්මක වන රන් වෙන්දේසියේදී ඒ බව කල්තබා ප්‍රසිද්ධ කළ යුතුය. ඒ බව පොදුවේ පුවත්පත් මගින් ප්‍රචාරය කර හරින අතර තවත් පැත්තකින් උකස් තබන ලද ගනුදෙනුකරුවන් හට පෞද්ගලිකව යවනු ලබන ලිපි මගින් දැනුවත් කිරීමක් ද කළ යුතුය. එහිදී වෙන්දේසියේ අලෙවි කරනු ලබන ස්ථානය, දිනය හා වේලාව ආදිය සටහන් කිරීම අනිවාර්ය කටයුත්තක්ය. එලෙස සිදු කරනු ලබන්නේ තමන් විසින් උකස් තබන ලද රන් භාණ්ඩය අවසන් මොහොතේ හෝ බේරා ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාවක් ලබාදීම පිණිසය. ගනුදෙනුකරු විසින් එම අවස්ථාව ද ප්‍රයෝජනයට නොගතහොත් සිදුවන්නේ අදාළ රන් භාණ්ඩය ප්‍රසිද්ධ වෙන්දේසියේදී පිටස්තර පුද්ගලයන්ට මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීමය. මෙම හෙළිදරව්ව මගින් අවධාරණය කරනු ලබන්නේ එවැනි ප්‍රසිද්ධ රන් වෙන්දේසි තුළ සිදුවන තරමක් අප්‍රකට සිදුවීමක් පිළිබඳව ය. එවැනි රන් භාණ්ඩ වෙන්දේසි ආශ්‍රිතව මහා පරිමාණ රන් ව්‍යාපාරිකයන් නිතර නිතර ගැවසීමත් වෙන්දේසියේ අලෙවි වන රන් භාණ්ඩ තොග වශයෙන් ඔවුන් විසින් මිලදී ගැනීමත් පිළිබඳ කතාව අප හා විස්තර කර සිටින්නේ ක්‍ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් සහිත පුද්ගලයකු විසින්ය. නම් ගම් සඳහන් නො කිරීමේ කොන්දේසිය මත එම අප්‍රකට කතාව මුල් වරට ඔහු විසින් අප හමුවේ විස්තර කර සිටින්නට වූවේ මේ ආකාරයෙන්ය.

“බේරා නොගත් රන් භාණ්ඩ බාහිර පාර්ශ්වයක් විසින් මිලදී ගැනීම කියන්නෙ අපේ රටේ තිබෙන හොඳම බිස්නස් එකක්. විශේෂයෙන්ම රන් මිල ඉහළ යෑමත් එක්ක මේ බිස්නස් එකේ ඉන්න මිනිස්සුන්ට හොඳ ආදායමක් හොයා ගන්න පුළුවන්වෙලා තියෙනව. තව දෙයක් මුලින්ම සඳහන් කරල ඉන්න ඕන. මේ බිස්නස් එකේ වැඩිපුරම ඉන්නෙ මුස්ලිම් ව්‍යාපාරිකයෝ. ලංකාවෙ කොහේ හරි තැනක රන් භාණ්ඩ වෙන්දේසියක් තියෙනව කියල දැනගත්ත ගමන් අපි සල්ලි ටිකක් සූදානම් කරගෙන වෙන්දේසියට යනව. සමහරු කණ්ඩායම් වශයෙන් යනව. එහෙම ගියාට බිස්නස් එකට සල්ලි දාන්නෙ එක්කෙනයි. ඒ එක්කෙනාගෙ සල්ලි තමයි අර කණ්ඩායමේ හැමෝගෙම අතට බෙදල දෙන්නෙ. ඊට අමතරව තනි තනි පුද්ගලයො විදිහටත් පිරිසක් එනව. වෙන්දේසිය කියන්නෙ තරගයක්. එක්කෙනෙක් මිලක් ගැහුවට පස්සෙ තව කෙනෙක් ඊට උඩින් මිලක් ගහනව. වැඩිම ලංසුවට තමයි රන් භාණ්ඩය අලෙවි වෙන්නෙ. වෙන්දේසියකට කණ්ඩායම් වශයෙන් යන අයට තියෙන වාසිය තමයි වැඩි රන් භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගැනීමට පුළුවන්වීම. මොකද එක්කෙනාගේ සල්ලි හින්ද මිල බලල තමයි ඒ අය ලංසුව තියන්නෙ. එතකොට අර තනියෙන් ගිහින් මිල කියන කෙනාට වඩා කීයක් හරි ඉහළ මිලක් තමයි ඒ අය නිතරම තියන්නෙ. මේක නොදන්න අය හිතන් ඉන්නව ඒ අය වෙන වෙනම තරග කරනව කියල. එහෙම එකක් නෑ. උපක්‍රමයක් විදිහට තමයි ඒ අය ඒක කරන්නෙ. අර සල්ලි දීපු මුදලාලි ළඟට හවසට බඩු ටික යනව. ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලත් මම කියන්නම්.”

රන් වෙන්දේසි ආශ්‍රිතව සිදුවන එක් උපක්‍රමයක් පිළිබඳ ඔහු විසින් විස්තර කර සිටියේ ඒ ආකාරයෙන්ය. එය කිසිසේත් වංචාවක් නොවන බව මෙහි සඳහන් කළ යුතුය. එය වෙළෙඳ උපක්‍රමයක් පමණක්මය. ඊට අමතර තවත් බොහෝ දේ රන් භාණ්ඩ වෙන්දේසි ආශ්‍රිතව සිදුවන බවද නම් ගම් හෙළිදරව් කිරීමට අකැමැත්තක් දැක්වූ ව්‍යාපාරිකයා විසින් අප හමුවේ හෙළිදරව් කර සිටියේය.

“සමහර වෙන්දේසිවලට ගියහම බැංකුවේ මහත්වරු රන් භාණ්ඩ පෙන්නල කියනව මේකට ලංසුවක් තියන්න එපා කස්ටමර් ඇවිත් බේරගන්නව කියල. එහෙම කිව්වට පස්සෙ කොච්චර ලාබයට ගන්න පුළුවන් වුණත් අපි ලංසු තියන්න යන්නෙ නෑ. මහත්වරු කියන්නෙ ඇත්තක් වෙන්නත් පුළුවන් බොරුවක් වෙන්නත් පුළුවන්. අපි ඒක කරන්නෙ නෑ, ඒක මේ බිස්නස් එක කරන හැමෝම අනුගමනය කරන පිළිවෙතක්. වෙන්දේසියෙ බඩු ගන්නව කියන්නෙ දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක් හැටියට සඳහන් කරන්නත් පුළුවන්. මොකද එවෙලෙට එළියට දාන බඩු දිහා බලල හොඳ මිලක් ගහන්න ඕන. එහෙම නොවුණොත් තරගයක් දෙන්න බෑ, හොඳ මිලක් ගහනව කියන්නෙ අපිටත් කීයක් හරි ලාභයක් තියාගන්න ඕන. මොකද වෙන්දේසියෙදි රත්රන් උරගාල බලන්න බැහැනෙ. ඇහැට වදින විදිහට තමයි මිල ගහන්න වෙන්නෙ. වෙන්දේසිය ඇතුළෙ කැරට් 22 රත්රන් වගේම කැරට් 18, 20 රන් භාණ්ඩ ඒ වගේම ගල් අල්ලපු බඩු ඔය වගේ එක එක අයිටම් තියෙනව. ඒ හින්ද සල්ලි තිබුණ පලියට මේ බිස්නස් එකේ ඉන්න බැහැ. කෝටියක් අරන් ගියත් බිස්නස් එක දන්නෙ නැත්නම් ලාබයක් ගන්න බැහැ. ඒ හින්ද මේ බිස්නස් එකම පමණක් කරන පිරිසක් අපේ රටේ ඉන්නව. ඒ අයට අමතරව තමන්ගෙ පාවිච්චියට චේන් එකක්, වළල්ලක් ගන්න කියල එන පිරිසකුත් ඉන්නව. වෙළෙඳපොළට වැඩිය කීයක් හරි අඩුවෙන් ගන්න පුළුවන් කියල දන්න අය තමයි එහෙම ඇවිත් රන් වෙන්දේසියකින් බඩුවක් මිලදී ගන්නෙ.”

රට පුරා සිදුවන බේරා නොගත් උකස් රන් භාණ්ඩ වෙන්දේසි ආශ්‍රිතව සිදුවන තවත් අප්‍රකට කතා බොහෝමයක් ඇත. අපගේ අවධානය වෙනත් කරුණකට බැවින් ඒ පිළිබඳ තොරතුරු සටහන් කිරීම මෙවෙලේ නොකළ යුක්තක් ය. ඉහත තොරතුරු ඔස්සේ අපි කළ සොයා බැලීමකදී හෙළිදරව් වූවේ වෙන්දේසි ආශ්‍රිතව මහා පරිමාණ අයුරින් රන් භාණ්ඩ මිලදී ගන්නන් ඉන් අනතුරුව එම රන් භාණ්ඩ නැවත මුදල් කර ගැනීමේදී අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳවය. බොහෝ දෙනකුගේ අදහස බවට පත්ව ඇත්තේ ස්වර්ණාභරණ අලෙවිසල් හිමිකරුවන් විසින් එලෙස රන් භාණ්ඩ මිලදී ගන්නා බවත් එම භාණ්ඩ නැවත ඔපදමා අලුත නිම කරන ලද ස්වර්ණාභරණ ලෙස අලෙවි කරන බවත්ය. එහෙත් සැබැවින්ම සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියක්ය. ස්වර්ණාභරණ අලෙවි සල් හිමිකරුවන් මෙම වෙන්දේසි සඳහා සහභාගි වන්නේ ඉතාමත් කලාතුරකින් අවස්ථාවකය.

එම ක්‍රියාවලිය නම් එලෙස මිලදී ගත් රන් භාණ්ඩ පිරිසිදු කැරට් 24 රන් බවට පත් කිරීමය. ඒ සඳහා කොළඹ හෙට්ටිවීදිය ආශ්‍රිතව ස්ථාන කීපයක් දැකගත හැකි අතර ඊට අමතරව රන් කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ තවත් ස්ථාන රැසකදී එම පහසුකම ලබාගත හැක. ස්වර්ණාභරණ කර්මාන්තයේදී එය හඳුන්වනු ලබන්නේ ‘පොඩම්’ දැමීම යනුවෙන්ය. එහිදී ඕනෑම රන් භාණ්ඩයක් නැවතත් කැරට් 24 පිරිසිදු රන් බවට පත් කරන අතර එම ක්‍රියාවලිය තුළ සිදුවන්නේ රන් භාණ්ඩයක් නිෂ්පාදනයේදී එම භාණ්ඩයේ අන්තර්ගත අමතර ලෝහයන් වන රිදී, තඹ ආදිය ඉවත් කොට නැවත පිරිසිදු රන් බවට පත් කිරීමය. එලෙස පිරිසිදු කරන රන් හඳුන්වනු ලබන්නේ ‘මූස්’ යනුවෙන්ය. ‘මූස්’ සඳහා රන් වෙළෙඳපොළ තුළ කැරට් 24 ට හිමි වටිනාකම හිමිවීම එහි තිබෙන තවත් විශේෂත්වයක්ය.

ඒ අනුව බැංකුවට සින්න වන රන් භාණ්ඩ තවත් පාර්ශ්ව කීපයකගේ මැදිහත්වීම මත නැවතත් පිරිසිදු රන් ලෙස උපත ලබන අතර එහි පියවරුන් සිටු ජීවිත ගත කරන්නේ පැය කීපයක් වැය කොට විශාල මුදලක් ළඟාකර ගත හැකි රන් වෙන්දේසියේදී බන්දේසි පුරවා ලබාගත් රන් නැවත නැවතත් අලෙවි කිරීම තුළින්ය.

දිවයින ඉරිදා සංහ්‍රහයේ (2023/02/05) පළවූ වාර්ථාවකින් කරුණූ උපුටා ගන්නා ලදී.

Published by @www.goldceylon.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *