Skip to content
Home » රත්තරන් පාටට රැවටෙන්න එපා!

රත්තරන් පාටට රැවටෙන්න එපා!

පාරිභෝගිකයනි, රන් ආභරණ පිළිබඳව දැනුවත්ව මිලදී ගන්න…

එය ඔබේ ආරක්ෂාවයි!

ලක්ෂ ගණනින් වියදම් කර බාල බඩු ගන්න එපා.

ශ‍්‍රී ලංකාවේ අලෙවි වන ආභරණ පිළිබඳ දේශීය සහ විදේශීය පාරිභෝගිකයන් ඒවායේ ස්වර්ණාභරණ ප‍්‍රමිතීන් පිළිබඳව අතීතයට වඩා සැලකිලිමත් වන බව රන්, රිදී හා ප්ලැටිනම් කර්මාන්තයේ නියැලී ඇති සහ නියැලීමට බලාපොරොත්තු වන සියලූම අය විසින් අනිවාර්යයෙන්ම දැනුවත් වී සිටිය යුතු කාලය දැන් එළඹී ඇත.

අපි ”සිංගප්පූරු රත්තරන් නම් හොඳයි” යන වැකිය බොහෝවිට අසා ඇති නමුත් ”ලංකාවේ රත්තරන් හොඳයි” කියන වදන මෙය වෙනුවට භාවිතා නොවූයේ ඇයි දැයි සිතිය යුතු කාලය එළඹී ඇත.

දේශීය වෙළෙඳපොළේ වැඩිපුර භාවිතා වන්නේ කැරට් 22 රන් ආභරණ වුවත් ඒවා ප‍්‍රකාශිත ප‍්‍රමිතියට වඩා අඩු රන් ප‍්‍රමිතියෙන් යුක්තවීම පිළිබඳව දේශීය හා විදේශීය ගැණුම්කරුවන්ගෙන් පැමිණිලි ලැබී ඇත.

ඕනෑම අයෙක් තමන්ගේ මංගල අවස්ථාවේදී මංගල ආභරණ මිලදී ගැනීම බිලිඳෙකුට පංචායුදය, බිලිඳියකට කන් විද කරාබු පැලඳවීම, දියණියක් වැඩිවියට පත්වීමේදී රන් කරාබු, වළලූ, මාල තෑගි ලෙස දීම පිළිබඳ වැඩි සැලකිල්ලක් යොමු කරනු ලබයි. නමුත් සෑම දෙනාම එහිදී අවධානය යොමු කිරීමට පුරුදුව ඇත්තේ තමන් මිලදී ගන්නා ආභරණයේ මෝස්තරය, මිල, බර ආදී කරුණු පිළිබඳව පමණි. නමුත් සෑම පාරිභෝගිකයෙක්ම අනිවාර්යෙන්ම තමන් ගෙවන මුදලට සරිලන පරිදි නියමිත ප‍්‍රමිතියෙන් යුක්ත ආභරණයක් තමන් අතට ලැබෙන්නේ ද යන්න පිළිබඳව දැනුවත් වීම අනිවාර්යය වේ.

සාමාන්‍යයෙන් මංගල මාල, මුදු විවිධ මෝස්තරවලින් යුක්ත වන අතර ඒවා බොහෝවිට කහ සහ සුදු රත්තරන් (Yellow & white Gold) මිශ‍්‍රණවලින් නිමකර ඇති බව දක්නට ලැබේ. බොහෝවිට කැරට් 22 කහ පැහැති රන්, කැරට් 18 සුදු රන් මිශ‍්‍රණ වෙනම භාවිතා වේ. මෙවැනි ආභරණ සඳහා අධික පිරිවැයක් දරන බැවින් මේවායේ රන් ප‍්‍රමිතිය සහතික කර ගැනීම ඉතාම වැදගත් වේ.

ස්වර්ණාභරණවල ප‍්‍රමිතිය පරීක්ෂා කර අන්තර්ජාතික වශයෙන් පිළිගත් ප‍්‍රමිති මුද්‍රා (Hallmark) තැබීමට ශ‍්‍රී ලංකාවේ ඇති එකම බලයලත් ආයතනය ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය යටතේ ඇති වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශය (Assay Office) වේ. මෙහිදී ISO ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල පරීක්ෂණ ක‍්‍රම අනුගමනය කරමින් ස්වර්ණාභරණවල ප‍්‍රමිතිය පරීක්ෂා කර ඒවා නියමිත ප‍්‍රමිතීන්ට අනුකූල නම් ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමිති මුද්‍රා (Hallmarked) ඒවා මත තබනු ලබයි.

උදාහරණයක් වශයෙන් කැරට් 22 සඳහා ප‍්‍රමිති මුද්‍රාව ලෙස, යන සලකුණු තුන අඩංගු විය යුතු වේ. මීට අමතරව කැරට් 21, 18, 14, 9 හා 8 සඳහා මෙහි 916 වෙනුවට පිළිවෙළින් 875, 750, 585, 375 හා 333 වශයෙන් සලකුණු කරනු ලබයි. තවද මීට අමතරව ස්වර්ණාභරණ නිෂ්පාදකයා හඳුනාගැනීමට නිෂ්පාදකයාගේ සලකුණක්ද තිබිය යුතුවේ. තවද 2006-03-17 දින අංක 1436/21 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය මඟින් රත‍්‍රං ඇතුළු වටිනා ලෝහ ආභරණවල තිබිය යුතු ප‍්‍රමිතීන් ප‍්‍රකාශයට පත්කර නීතිගත කර ඇත.

දැනට ලංකාවේ අලෙවි කෙරෙන ස්වර්ණාභරණවලින් වැඩි ප‍්‍රමාණයක් නියමිත ප‍්‍රමිතියෙන් තොරයි. ස්වර්ණාභරණවල ප‍්‍රමිතිය පරීක්ෂා කිරීමට අප බොහෝවිට යොමුවන්නේ බැංකු ඇතුළු ස්වර්ණාභරණ උකස්ගන්නා
මුල්‍ය ආයතනයන් වෙතය. නමුත් රත‍්‍රං භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා එම ආයතන භාවිතා කරන්නේ ඝනත්වය ආශ‍්‍රයෙන් පාඨාංක ලබා දෙන ඩෙන්සි මීටරය නම් උපකරණයි. ස්වර්ණාභරණවල ප‍්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා එම උපකරණය කොහෙත්ම සුදුසු නොවේ. ස්වර්ණාභරණ තුළට වෙනත් ලෝහ පිරවීමෙන් සාදන ව්‍යාජ ස්වර්ණාභරණවලටත් කැරට් 22 වැනි පාඨාංක පෙන්වන අවස්ථා ඇති බව ද එබැවින් උකස් තැබීමට හැකි වූ ඒවායින් ඔබගේ රන් භාණ්ඩ නියම ප‍්‍රමිතියෙන් යුක්ත නොවිය හැකිය.

රත්තරන්වල මිල ඉහළ ගිහින් තියන මේ කාලේ ඔබ ප‍්‍රමිතිය ගැන සැලකිලිමත් නොවුණහොත් ඔබ නොදැනුවත්ව වංචාවලට හසුවිය හැක. ප‍්‍රමිති මුද්‍රා සහිත (Hallmarked) ස්වර්ණාභරණ පමණක් මිලදී ගැනීමට පෙළඹෙන්නේ නම් ඔබ ගෙවන මුදලට නියම වටිනාකමෙන් යුතු ස්වර්ණාභරණ ඔබ අතට පත්වනවා මෙන්ම හදිසියකදී උකස් කරන අවස්ථාවකදී ඉතා පහසුවෙන් ඒවාට උපරිම මුදලක් ලබා ගැනීමට ද හැකි වේ. එබැවින් Hallmarked ස්වර්ණාභරණ පමණක් මිලදී ගන්න. මිලදී ගැනීමෙදී වලංගු රිසිට්පතක් ලබාගෙන එහි නම, ලිපිනය, රන් බර, රන්වල ප‍්‍රමිතිය ගල් ඇත්නම් විස්තර හා අවසාන මිල සඳහන්ව ඇත්දැයි සැලකිලිමත් වන්න.

වෙළෙඳසල්වල ප‍්‍රමිති මුද්‍රා සහිත ආභරණ නොමැති අවස්ථාවක ඔබ ස්වර්ණාභරණ අධිකාරියේ ප‍්‍රමිති මුද්‍රා සහිතව ඉල්ලා සිටි විට ඔවුන් ඔබට ලැබීමට ප‍්‍රථම අප වෙත ස්වර්ණාභරණ රැගෙනවිත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප‍්‍රමිති මුද්‍රා සහිතව ඔබට ලැබීමට සලස්වනු ඈත. බොහෝ ආයතන ප‍්‍රමිති මුද්‍රා සහිතව විකිණීමට පෙළඹී තිබීම සතුටුදායක වුවත් එය ප‍්‍රමාණාත්මකව අඩු සංඛ්‍යාවකි.

දැනට ප‍්‍රමිති මුද්‍රා සහිත (Hallmarked) ස්වර්ණාභරණ විකිණීමට පෙළඹී ඇති ස්වර්ණාභරණ අලෙවිසල්වල විස්තර පහත වෙබ් අඩවිවල www.ngja.gov.lk හා www.goldceylon.lk සඳහන්ව ඇත. ඉදිරියේදී ඔවුන්ගේ සේවාව ඇගයීමට ද ප‍්‍රචාරණයට ද කටයුතු යොදා ඇත.

ස්වර්ණාභරණවල ප‍්‍රමිතිය පරීක්ෂා කරන රසායනාගාර (ASSAY OFFICE), ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය, අංක 12, මැක්සන් ටවර්, ඇල්ෆ‍්‍රඞ් හවුස් උද්‍යාන පාර, කොළඹ 03. (දුරකථන අංක 0112390652) සහ අංක 50 1/1, පළමු මහල, ප‍්‍රින්ස් සිනමා ගොඩනැගිල්ල, හැව්ලොක් පාර, ගාල්ල (දුරකථන අංක- 0912244945) යන ලිපිනවල පිහිටා ඇත.

ඔබ ලක්ෂ ගණනින් වියදම් කර සාදා ගන්නා ස්වර්ණාභරණ නියමිත ප‍්‍රමිතියකින් යුක්ත ද යන්න දැන ගැනීම ඔබ සතු අයිතියකි, වගකීමකි.

ඔබ දැනටමත් ස්වර්ණාභරණ මිලදී ගෙන ප‍්‍රමිතිය පිළිබඳ වංචාවකට හසුව ඇත්නම් ඔබ අධිකාරියෙන් ස්වර්ණාභරණ සඳහා ලබාගත් ප‍්‍රමිති සහතිකය හා රන් භාණ්ඩ මිලදී ගත් රිසිට් පත අධිකාරියේ බලපත‍්‍ර අංශයට ඉදිරිපත් කිරීමෙන් ඔබට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා ඔවුන් පියවර ගනු ඇති.

ඉන්දික බණ්ඩාර
සහකාර අධ්‍යක්ෂ (රන් ප‍්‍රමාණය
නිශ්චය කිරීම හා මුද්‍රා තැබීම)
ජාතික මැණික් සහ
ස්වර්ණාභරණ අධිකාරිය.

2 thoughts on “රත්තරන් පාටට රැවටෙන්න එපා!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *