Skip to content
Home » ඔයාගේ රත්තරන් බැංකුවේ තියන්න ගියාම කැරට් ගාන අඩුයි කිව්වද?…..

ඔයාගේ රත්තරන් බැංකුවේ තියන්න ගියාම කැරට් ගාන අඩුයි කිව්වද?…..

අද වන විට ශි ලංකාවේ රන් භාණ්ඩ සඳහා වන ප්‍රචලිත ප‍්‍රමිතිය වනුයේ කැරට් 22 යන නිර්ණායකය යි. කැරට් යනු රන්වල ගුණාත්මක බව මනිනු ලබන මිනුමකි. ඒ අනුව ඉතා පිරිසුදු රත්රන් යනු කැරට් 24 රන් ය.
සාමාන්‍යයෙන් කැරට් 22 රන් භාණ්ඩයක අඩංගු රන් ප‍්‍රමාණය සියයට 91.67 ක් පමණකි. ඉතිරි සියයට කොටස සැකැසෙන්නේ තඹ හා රිදී මිශ්‍ර කිරීමෙනි. රන් යනු පහසුවෙන් තැලීමට සහ නැවීමට හැකි ලෝහයක් වන බැවින් ස්වර්ණාභරණ ආදියෙහි සවි ශක්තිය වර්ධනය කිරීම සඳහා මෙසේ තඹ ලෝහය ද සිල්වර්, නිකල් සහ පැලේඩියම් යන ලෝහ ද මිශ‍්‍ර කිරීම සිදු වෙයි.

මතුපිට සියුම් ලෙස පලුදු කර භාණ්ඩ නියමිත ප‍්‍රමිතියට අනුව නිෂ්පාදනය කරනු ලැබ තිබේදැයි පරීක්ෂා කිරීමට කලෙක සිට ම භාවිත වූයේ “උර ගෑමේ” ක‍්‍රමයයි (Tough Stone Testing ). මෙය ඉතා හොඳ විද්‍යාත්මක පදනමක් සහිත ක‍්‍රමයක් ලෙස හැඳින්වීමෙහි වරදක් නැත.

මෙම ක‍්‍රමවේදයට අනුව රන් උරගෑම සඳහා භාවිත කරන්නේ කළු පැහැති ස්වභාවික ගල් විශේෂයකි. පළිඟු තවත් රසායන ද්‍රව්‍ය හා මුසු වීමෙන් මෙම පාෂාණ වර්ගය ස්වභාවිකව නිර්මාණය වී තිබේ. ඉතා සුමට, හොඳ තත්ත්වයේ උර ගලක් භාවිත කළ විට භාණ්ඩයේ කිසිදු පළුද්දක් හෝ සැලැකිය යුතු බර අඩුවීමක් සිදු නොවන බවට සහතික විය හැකිය.කෙසේ නමුත් උර ගෑමේ ක‍්‍රමයට අනුව කිසියම් රන් භාණ්ඩයක මතු පිට පෘෂ්ඨය පමණක් පරීක්ෂා කළ හැකි වීම මෙහි තිබෙන අවාසියකි.

ස්වර්ණාභරණ ආදියෙහි ඇතුළත තඹ, රිදී ආදී බාල වර්ගයේ ලෝහයක් පුරවා තිබුණ ද උරගෑමේ ක‍්‍රමයට අනුව එවැනි වංචනික කටයුතු ග‍්‍රහණය කර ගත නොහැකිය.

එබැවින් බැංකු ආදී උකස් ගන්නා ස්ථානවල අද වන විට රන් භාණ්ඩවල ප‍්‍රමිතිය නිර්ණය කිරීම සඳහා ඩෙන්සිමීටරය නැමැති උපකරනය යොදා ගනු දක්නට ලැබෙයි. මෙහි දී එකහෙළාම ඉලෙක්ට්‍රොනික යන්ත‍්‍රයක් මත විශ්වාසය තබා කටයුතු කරන්නට උකස් ගන්නා නිලධාරීන් හුරුව ඇත.

ආකිමිඩිස් මූල ධර්මයට අනුව ඝනත්වය නිර්ණය කිරීමන් රන් භාණ්ඩවල ප‍්‍රමිතිය නිර්ණය කරන ඩෙන්සිමීටර ක‍්‍රමය රත්තරන් වල කැරට් ප්‍රමාණය නිර්ණය කිරීමට නිරවද්‍ය නොවන ක්‍රමයක් බවට World Gold Council ආයතනය පෙන්වා දෙයි.

රන්වල ඝනත්වයට ඉතාමත් ආසන්න ටන්ග්ස්ටන්, ටැන්ටලම් යන ලෝහ යටතින් යොදා පිටතින් රන් ලෝහයෙන් ආවරන කිරීමෙන් හෝ ඇතුලත රසදිය ද්‍රව අකාරයෙන් තබා පිටතින් රන් තහඩුවකින් ආවරන කර අපේක්ෂිත කැරට් 22 රන්වල ඝනත්වය ලැබෙන පරිදි ව්‍යාජ ලෙස ආභරණ සකසා වානිජ බැංකු හා උකස් මධ්‍යස්ථාන නොමැග යැවීම ඉතා සීග්‍රයෙන් ඉහල ගොස් ඇත.

ඩෙන්සිමීටරයෙහි තවත් සැලකිය යුතු අවාසි සහගත තත්ත්වයක් පවතින බව මෙහිලා සඳහන් කිරීම වටී. කිසියම් හේතුවකින් ඉතා හොඳ ප‍්‍රමිතියෙන් යුත් කැරට් 22 රන් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේ දී වුව ද එහි ඇතුළත ඉතා කුඩා ප‍්‍රමාණයේ වායු බුබුළක් සිර වීමට ඉඩ ඇත.තවද ස්වර්ණාභරණයේ බර අඩුකර පෙනුම ලබා දීම සදහා ඇතුල හිස්ව තනා ඇති ස්වර්ණාභරණ( (Gold Tube Jewellery) දැන් වෙලදපොළ තුල මිලදී ගන්නට ඇත.

එවිට ආකිමිඩිස් මූලධර්මයෙන් අදාළ භාණ්ඩයේ සමස්ත ඝනත්ව අගය අපේක්ෂිත අගයට වඩා අඩු බව කියැවෙයි. ඒ අනුව හිතා මතාම ඇතුළත හිදැස් තබමින් තනන නවීන පන්නයේ ස්වර්ණාභරණ (tube hollow type Jewellery) මෙන් ම කෘතිම හෝ ස්වාභාවික මැණික් ගල් සැලකියයුතු ප්‍රමාණයක් යොදා තනන රන් ආභරණ ද ඩෙන්සි මීටර පාඨාංකයෙහි වලංගුතාවෙන් මිදිම විශාල ගැටලුවකි. තවද සුදු රන් ( white Gold) සමග මිශ්‍රව සාදන ලද රන් ආභරණ වලටද ඩෙන්සි මීටර පාඨාංක නිවැරදි නොවීමද විශාල ගැටලුවකි.

කසේ නමුත් මෙම ප‍්‍රශ්නකාරී තත්ත්වයන්ගෙන් මිදීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහාය ඔබට මහගු පිටුවහලකි.
ජාත්‍යන්තර රන්භාණ්ඩ විශ්ලේෂණ ක‍්‍රම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් භාවිතයට ගනු ලැබෙයි. මෙම ක‍්‍රමය අතිශය නිවැරැදි ප‍්‍රතිඵල අත්කර දෙන ප‍්‍රමිති නිර්ණය ක‍්‍රමයකි. අති නවීන තාක්ෂණික උපකරණ වලින් සමන්විත අදාල රසායනාගාරය Assay Office ලෙස ප්‍රචලිතයි. ඔබ ලක්ෂ ගනනින් වියදම් කර සාදා ගන්නා ස්වර්ණාභරණ නියමිත ප්‍රමිතියකින් යුත්තද යන්න දැන ගැනීම ඔබ සතු අයිතියකි වගකීමකි. ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් පසු අදාල ස්වර්ණාභරණය ලේසර් කිර්න ආධාරයෙන් ප්‍රමිති මුද්‍රා කරගැනීමටද මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පහසුකම් සලසා ඇත. www.ngja.gov.lk හෝ 0112390652 දුරකතන අංකයෙන් විස්තර ලබා ගත හැක.

තව කෙනෙක් දැනගැනීම සඳහා LIKE FOLLOW , SHARE කරන්න අමතක නොකරන්න.

Indika Bandara
Assistant Director (Jewellery Testing, Hallmarking, and Precious Metal Valuation Division – Assay Office)
National Gem and Jewellery Authority
No 12, Mackson’s Tower,
Alfred House Gardens,
Colombo 03.

Direct: 0112390952
Mobile: 0702600762

The administrator of GOLDCeylon | GOLD News Magazine
GOLDCeylon Sri Lanka's Top GOLD Magazine Network 🟢

Leave a Reply

Your email address will not be published. Required fields are marked *