Skip to content
Home » රත්තරන් ගිනිගනන් කාලේ ව්‍යාජ හා ප්‍රමිතියෙන් අඩු රන් වලට අහුවෙන්න එපා.

රත්තරන් ගිනිගනන් කාලේ ව්‍යාජ හා ප්‍රමිතියෙන් අඩු රන් වලට අහුවෙන්න එපා.

ගෙවන මුදලට නියම රත්තරන් ලැබුනාද ?

හැමදේකම ප්‍රමිතිය හොයන කාලේ ලක්ෂගණන් වටිනා රත්තරන් ගන්නකොට ප්‍රමිතිය බලන්න අමතක නොකරන්න.

රන් භාණ්ඩයක් උකස් තැබීමට හැකි පමණින් නියම කැරට් 22 වන්නේ නැත.

පාරිභොගිකයනි, රන් ආභරණ පිළිබදව දැනුවත්ව මිලදී ගන්න…….

එය ඔබේ ආරක්ෂාවයි !!!!…………….

ඕනෑම අයෙක් තමන්ගේ මංගල අවස්ථාවේදි මංගල ආභරණ මිලදී ගැනීමට, බිලිදෙකුට පන්යුචාදය, බිලිදියකට කන් විද කරාබු පැලදවීම, දියණියක් වැඩිවියට පත්වීමේදී රන් කරාබු ,වළලු, මාල තෑගී ලෙස දීම පිළිබද වැඩි සැළකිල්ලක් යොමු කරනු ලබයි. නමුත් සෑම දෙනාම එහිදි අවධානය යොමු කිරීමට පුරුදුව ඇත්තේ තමන් මිලදී ගන්නා ආභරණයේ මෝස්තරය, මිල, බර ආදී කරුනු පිලිබදව පමණි. නමුත් සෑම පාරිභෝගිකයෙක්ම අනිවාර්යෙන්ම තමන් ගෙවන මුදලට සරිලන පරිදි නියමිත ප්‍රමිතියෙන් යුක්ත ආභරණයක් තමන් අතට ලැබෙන්නේ ද යන්න පිළිබදව දැනුවත් වීම අනිවාර්යය වේ.

සාමාන්‍යෙයන් මංගල මාල, මුදු විවිධ මෝස්තරවලින් යුක්ත වන අතර ඒවා බොහෝවිට කහ සහ සුදු රත්තරන් (Yellow & white Gold) මිශ්‍රණවලින් නිමකර ඇතිබව දක්නට ලැබේ. බොහෝවිට කැරට් 22 කහ පැහැති රන්, කැරට් 18 සුදු රන් මිශ්‍රණ වෙනම භාවිතා වේ. මෙවැනි ආභරණ සදහා අධික පිරිවැයක් දරන බැවින් මේවායේ රන් ප්‍රමිතිය සහතික කර ගැනීම ඉතාම වැදගත්වේ.

ස්වර්ණාභරණවල ප්‍රමිතිය පරීක්ෂා කර අන්තර්ජාතික වශයෙන් පිළිගත් ප්‍රමිති මුද්‍රා (Hallmark) තැබීමට ශ්‍රී ලංකාවේ ඇති එකම බලයලත් ආයතනය ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය යටතේ ඇති වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශය (Assay Office) වේ. මෙහිදී ISO ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පරීක්ෂණ ක්‍රම අනුගමනය කරමින් ස්වර්ණාභරණවල ප්‍රමිතිය පරීක්ෂා කර ඒවා නියමිත ප්‍රමිතීන්ට අනුකූල නම් ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති මුද්‍රා (Hallmarked) ඒවා මත තබනු ලබයි.

උදාහරණයක් වශයෙන් කැරට් 22 සඳහා ප්‍රමිති මුද්‍රාව ලෙස පහන, පුන්කලස, 916 යන සළකුණු තුන අඩංගු විය යුතු වේ. මීට අමතරව කැරට් 21, 18, 14, 9 හා 8 සඳහා මෙහි 916 වෙනුවට පිළිවෙලින් 875, 750, 585, 375 හා 333 වශයෙන් සළකුණු කරනු ලබයි. තවද මීට අමතරව ස්වර්ණාභරණ නිෂ්පාදකයා හඳුනාගැනීමට නිෂ්පාදකයාගේ සළකුණක්ද තිබිය යුතුවේ. තවද 2006-03-17 දින අංක 1436/21 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් රත්‍රං ඇතුළු වටිනා ලෝහ ආභරණවල තිබියයුතු ප්‍රමිතින් ප්‍රකාශයට පත්කර නීතිගත කර ඇත.

දැනට ලංකාවේ අලෙවි කෙරෙන ස්වර්ණාභරණවලින් වැඩි ප්‍රමාණයක් නියමිත ප්‍රමිතියෙන් තොරයි. ස්වර්ණාභරණවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට අප බොහෝවිට යොමුවන්නේ බැංකු ඇතුළු ස්වර්ණාභරණ උකස්ගන්නා මුල්‍ය ආයතනයන් වෙතය. නමුත් රත්‍රං භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා එම ආයතන භාවිතා කරන්නේ ඝනත්වය ආශ්‍රයෙන් පාඨාංක ලබා දෙන ඩෙන්සි මීටරය නම් උපකරණයි. ස්වර්ණාභරණවල ප්‍රමිතිය පරීක්ෂාකිරීමට ඩෙන්සිමීටරය සුදුසුනොවන බව ලෝක රන් කවුන්සිලය (world gold council) පෙන්වාදී ඇත. ස්වර්ණාභරණතුලට වෙනත් ලෝහ පිරවීමෙන් සාදන ව්‍යාජ ස්වර්ණාභරණවලටත් කැරට් 22 වැනි පාඨාංක පෙන්වන අවස්ථා ඇතිබවද එබැවින් උකස් තැබීමට හැකිවු ඒවායින් ඔබගේ රන් භාණ්ඩ නියම ප්‍රමිතියෙන් යුක්ත නොවිය හැකිය. උකස් ගන්නා නිලධාරීන්ට නිසි රත්තරන්වල රසායනික හා භෞතික ගුණ පිළිබද අවබෝධය අවම වීම, රන් භාණ්ඩ.වල ලකුණු හා ප්‍රමිති මුද්‍රා පිළිබද අවභෝධය අඩුවීම, ඩෙන්සිමීටරයේ වාසි අවාසී පිළිබද අවබෝධය අඩුවීම, ව්‍යාජ රන් පිළිබද අවභෝධය අඩුවීම. රන් පරීක්ෂා කිරීමේ විවිධ ක්‍රම වර්ග පිළිබද අවබෝධය අඩුවීම.

රත්තරන් වල මිල ඉහල ගිහින් තියන මේ කාලේ ඔබ ප්‍රමිතිය ගැන සැලකිලිමත් නොවුනහොත් ඔබ නොදැනුවත්ව වන්චාවලට හසුවිය හැක. ප්‍රමිති මුද්‍රා සහිත (Hallmarked) ස්වර්ණාභරණ පමණක් මිලදී ගැනීමට පෙළඹෙන්නේ නම් ඔබ ගෙවන මුදලට නියම වටිනාකමෙන් යුතු ස්වර්ණාභරණ ඔබඅතට පත්වනවා මෙන්ම හදිසියකදී උකස්කරන අවස්ථාවකදී ඉතා පහසුවෙන් ඒවාට උපරිම මුදලක් ලබා ගැනීමටද හැකි වේ. එබැවින් Hallmarked ස්වර්ණාභරණ පමණක් මිලදී ගන්න.

දැනට ප්‍රමිති මුද්‍රා සහිත (Hallmarked) ස්වර්ණාභරණ විකිණිමට පෙළඹී ඇති ස්වර්ණාභරණ අලෙවිසැල් වල විස්තර අපගේ වෙබ් අඩවියේ සදහන්ව ඇත .

ඔබ ලක්ෂ ගනනින් වියදම් කර සාදා ගන්නා ස්වර්ණාභරණ නියමිත ප්‍රමිතියකින් යුත්තද යන්න දැන ගැනීම ඔබ සතු අයිතියකි වගකීමකි.
ඔබ දැනටමත් ස්වර්ණාභරණ මිලදී ගෙන ප්‍රමිතිය පිලිබද වංචාවකට හසුව ඇත්නම් ඔබ අධිකාරියෙන් ස්වර්ණාභරණ සදහා ලබාගත් ප්‍රමිති සහතිකය හා රන් භාණ්ඩ මිලදී ගත් රිසිට් පත අධිකාරියේ බලපත්‍ර අංශයට ඉදිරිපත් කිරීමෙන් ඔබට සාධාරණය ඉෂ්ට කිරීම සදහා ඔවුන් පියවර ගනු ඇත.

ස්වර්ණාභරණවල ප්‍රමිතිය පරීක්ෂා කරන රසායනාගාර (ASSAY OFFICE), ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය, අංක 12, මැක්සන් ටවර්, ඇල්ෆ්‍රඩ් හවුස් උද්‍යාන පාර, කොළබ 03. (දුරකථන අංක 0710413468, 0702660762) සහ අංක 50 1/1, පළමු මහල, ප්‍රින්ස් සිනමා ගොඩනැගිල්ල, හැව්ලොක් පාර, ගාල්ල (දුරකථන අංක-0912244945 ) යන ලිපිනවල පිහිටා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *